Management in Sinhala – රාවය පුවත්පත පළකිරීම ප්‍රතික්ෂේප කළ අපේ ලිපිය


Following is an article sent to Ravaya as a reply to an article published in the same news paper. Ravaya did not publish this reply. I thought to publish it here as it is also related to management. රාවය පුවත් පත පහත ලිපිය පළ නොකළේ ඇයි ද යන්න අදටත් අපට උත්තර සොයාගත නොහැකි වූ ප්‍රශ්නයකි. මුල් ලිපිය ගැන අවබෝධයක් නැතිව ද මේ ලිපිය කියවිය හැකි ය.

තරඟය පිළිකුලෙන් බැහැර කළ යුතු ද ඉඹලා පිළිගත යුතු ද?

”සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන” යන ගීතය ඔබට මතක ඇතැයි සිතමු. ජෝ සෙනෙවිරත්න මහතා ඔක්තෝබර් 16 ඉරිදා රාවය පුවත් පතේ පළ කළ  ඕෂෝගේ ලිපියෙන් ගයන්නේ ද ගුණදාස කපුගේ ඒ ගීයෙන් කියූ කාරණයම ය. මෙය අලූත් අදහසක් නොවේ. තරඟය පිළිකෙව් කිරීම අපේ ජාතියේම ලක්ෂණයකි. තරඟය සම්බන්ධයෙන් ඇති ඒ විරෝධය අපේ ශරීරයටම ඇටුවන් බැස තිබේ. ඒ නිසාම මේ ලිපිය ජෝ සෙනෙවිරත්නට හෝ ඔහු විසින් උපුටා දක්වන  ඕෂෝට පිළිතුරක් නොවේ. අප හැම දෙන අඩු වැඩි වශයෙන් පිළිකුල් කරන තරඟය නම් වූ වැදගත් මාතෘකාව ගැන කරන සංවාදයට අලූත් මානයක් එක් කිරීමට කරන ලද කුඩා උත්සහයකි.

චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කළ, පසුව බොහෝ දෙනෙකු විසින් ඌණ පූර්ණනය කරන ලද, පරිණාමවාදයේ සඳහන් එක් අදහසක් නම් යම් සත්ත්ව ප‍්‍රභේදයක් අනෙක් සත්ත්ව ප‍්‍රභේදයට වඩා කිසියම් විශේෂ හේතුවක් කාරණා කොට ගෙන ඉදිරියෙන් වෙයි ද එවැනි සත්ත්ව ප‍්‍රභේදයකට දෙවැන්න අභිබවා සංරක්ෂණය විය හැකි බව ය. දෙවැනි සත්ත්ව කොට්ඨාෂය තරඟයෙන් පැරද ඉවත්ව යන බව ය.

සමාජ පරිණාමය ගැන සැළකුවේ වුව ද අප දකින්නේ පැරණි යල්පැන ගිය සමාජ සංස්ථා හා මතවාදයන් අභිබවා තරඟයකින් පසු ජය ස්ථාප්තිත කරගනු ලබන අලූත් සමාජ සංස්ථා හා මතවාදයන් ය. වහල් ක‍්‍රමය පරදවා වැඩවසම් ක‍්‍රමයත් එය අභිබවමින් ධනේෂ්වර ක‍්‍රමයත් ඉදිරියට එන්නේ ඒ අනුව ය.

වෙළඳපළ ක‍්‍රමය තුළ මෙය වඩාත් මතුව කැපී පෙනෙයි. පැරණි තාක්ෂණය අභිබවා නව තාක්ෂණය ද පැරණි භාණ්ඩ කුණු ගොඩට තල්ලූ කරමින් අලූත් භාණ්ඩ ද පැරණි ආයතන විනාශ මුඛයට හෙලමින් නව ආයතන ද ඉස්මතු වන්නේ මේ තරඟය නිසා ය.

විද්‍යාත්මක සොයා ගැනීම් ගත්තේ වුව ද පැරණි නියාමයන් අලූත් පර්යේෂණවලින් නිශ්ප‍්‍රභා කරනු ලැබේ. ඒ පැරැුන්න විමසීම තුළ ය. ඒ පැරණි ඉගැන්වීම් දෙස විචාරාත්මකව බැලීම තුළ ය. ඒ හරහා තරඟයක යෙදීම තුළ ය.

එසේ බලද්දී පැහැදිලිවන එක් කාරණයක් නම් තරඟය පැහැදිලි ලෙසම සමාජ ප‍්‍රගමනයට හිතකර සංසිද්ධියක් බව ය.

තරඟය තුළ යම් එල්ලයක් කෙරෙහි පවතින දැඩි කැපවීමත් ඒ සඳහා කරන අනවරත වෙහෙසත් ඇතුළත් ය. පැරැුන්න අභිබවා යාමට ඇති ආසක්තයත් ඊට ඇතුළත් ය. එහිදී පැරැුන්න නියෝජනය කරන අය සමග තරඟයකට මුහුණ දීමට සිදු වීම ද අනිවාර්ය ය. නව දේ පමණක් නොව ඒවා ගෙනෙන නිර්මාපකයින් ද සමාජය කිසිදා එකවර පිළිගත්තේ නැත. ඒ සඳහා තරඟ වැදීමට නව දේට හා එය නියෝජනය කරන්නන්ට හැම දා සිදු වූයේ ය.

තරඟය මිනිසුන්ට තෝරාගැනීමක් ඉදිරිපත් කළේ ය. තිබෙන යමක් එසේම පිළිගැනීමට සිදු නොවුනා පමණක් නොව පරාසයක් අතුරෙන් තෝරාගැනීමක් කරන්නට මිනිසුන්ට එය උදව් වූයේ ය. එක් දේශපාලන අධිකාරියකට යටත් වෙනු වෙනුවට තරඟ කරන දේශපාලන පක්ෂ අතරින් එකක් තෝරා ගැනීමට ද එක් පුද්ගලයෙක් තෝරාගැනීම වෙනුවට පුද්ගලයින් කීප දෙනෙක් අතරින් එක් අයෙක්් මන්ත‍්‍රීවරයා ලෙස තෝරාගැනීමට ද ඉන් ඉඩ ලැබිණි. සමූපකාරයෙන් සැමට දෙන කැබලි හාල් වෙනුවට වෙළඳපොලෙන් කැමති හාල් තෝරාගැනීමට ඉන් ඉඩ ලැබුනේ ය.

තරඟයේ නරක පැත්තක් ඇත්තේ ම නැත් ද? පහුගිය දිනක භාරත ලක්ෂ්මන් හා දුමින්ද අතර වෙඩි තබා ගැනීම ද තරඟයේ ම ප‍්‍රතිඵලයකි. තරඟය මනාප සඳහා ය. ඒ අනුව මනාප ක‍්‍රමය සංශෝධනය කරනු ලැබුවහොත් සියල්ල හරි ය. එතකොට එක පක්ෂයේ අය ගහ මරා ගන්නේ නැත. ප‍්‍රශ්නය ඇත්තේ එක් පැත්තක අය ගහ මරා ගත හොත් පමණක් ද? නැත. විරුද්ධ පාර්ශවයන් ගහ මරාගත්තත් ඒත් අප්සෙට් ය. එසේ නම් කළ යුත්තේ පක්ෂ අතර තරඟය ද නැති කිරීම ය. ඒ කියන්නේ මරණයෙන් පමණක් අවසන් වන, පරම්පරාවෙන් පරම්පරාවට මාරුවන, රජ කෙනෙක් පත් කරගැනීම ය. තරඟය ඉවත් කර ගෙන ඉවත් කර ගෙන ගියහම අපට සිදු වන්නේ අතීතයට ම දුවන්න ය.

තව දුරටත් මේ කියන්නේ තරඟය නිසා කිසි නපුරක් නොවන බව ද?

ජෝ සෙනෙවිරත්නයන්ගේම ලිපියේ සඳහන් කතාවකින් අපි මෙය විසඳන්නට උත්සහ කරමු.
පෙර කාලෙක සුෆි සාන්තුවරු පිරිසක් හිටියා. මැරෙන තුරු එල්ලා තබන්න නියමවෙච්ච. එල්ලා මරණයට පත් කරන තෙක් රැුඳී සිටියදී ඔවුන් සිටියේ එක පෙලට හිටගෙන.  අලූගෝසුවාට එක එක නම අඩ ගසා එකා බැගින් එල්ලා මරන්න හැකිව තිබුණා. අලූගෝසුවා නමක් කියා මොර දුන්නා. නූරි. එවිට එම තැනැත්තා ඉදිරියට පැමිණිය යුතුව තිබුණා. එහෙත් නූරි නැමැති තැනැත්තා නැගී සිටියේ නැහැ. ඒ වෙනුවට තවත් අයෙක් ඉදිරියට අතක් ඔසවා කීවා. ඔබ පළමුව මාව එල්ලන්න. ඔබේ නම නූරි නෙවෙයි නෙ. ඔබ මොකද මැරෙන්න හදිසියක. අතක් එසවූ තැනැත්තා පිළිතුරු දෙමින් කීවා. මම නූරිට ආදරෙයි. මරණය කියන ප‍්‍රශ්නය ආවහම ඉදිරියට එන්නත් ජීවත්වීම කියන ප‍්‍රශ්නය ආවහම පිටිපසින් සිටින්නත් අවශ්‍ය බව මම අවබෝධ කරගෙනයි තිබෙන්නෙ. මම කැමතියි මගේ මිත‍්‍රයා මැරෙන්න පෙර මම මැරෙන්න. මේක ජීවත්වීම පිළිබඳ ප‍්‍රශ්නයක් නම් මගේ මිත‍්‍රයා දිගුකල් ජීවත්වෙන්න  ඕන.

මේක තරඟකාරිත්වය නොව එහි ප‍්‍රතිපක්ෂය බව ජෝ ලියපු ලේඛනයෙන් අපට ඒත්තු ගන්වා ඇතැයි මට හැගේ. එහෙත් මට නම් දැනෙන්නේ මේකත් තරඟයක් බව ය. මරණයේ කීර්තිය සඳහා තරඟයක් යනුවෙන් මා එය නම් කිරීමට කැමති ය. ජෝගේ ලිපියේ කියන ලෙසට සාර්ථකත්වය සඳහා පමණක් නොව අපට හැෙඟන ලෙසට වෙනත් බොහෝ දේ සඳහා ද තරඟ අපට කරන්නට හැකි ය. එකක් හොඳ පුරවැසියෙක් වීමට ය. සමහරවිට කිසියම් ක්ෂේත‍්‍රයක දක්ෂ කෙනෙක් වීමට ය. තවත් සමහරවිටක බියජනකම පාතාලයා වීමට ය. කෙනෙකුට සමහරවිට වඩාත්ම ත්‍යාගශීලියා වීමට ද තරඟයක යෙදෙන්න පුලූවන. මේ සියලූ තරඟයන් එකම අච්චුවේ ලා අපුලෙන් යුතුව හෙළා දැකිය යුතු ද?

තරඟය ගැන පොදුවේ ලියුව ද ජෝගේ ලිපියේ වඩාත්ම මතුකරන්නට උත්සහ කර ඇත්තේ සාර්ථකත්වය සඳහා මිනිසුන් යෙදී ඇති තරඟය ගැන ය. ඒ නිසාම ජෝ මතුකරන ඒ වැදගත් කාරණයට දැන් අපි අවධානය යොමු කරමු.

සාර්ථකත්වයට ඇත්තේ එක් නිර්වචනයක් ද? දුමින්ද සාර්ථකත්වය ලෙස අදහන දෙය ආතර් සී ක්ලාක් සාර්ථකත්වය යයි අදහන්නේ නැත.

අප කළ යුත්තේ තරඟය පිළිකෙව් කිරීම ද? එසේත් නැතිනම් සාර්ථකත්වයට නව අර්ථයක් දීම ද?
අනුන්ට බරක් නොවී ජීවත්විය හැකි තරමේ ආර්ථික ශක්තියක් ලඟා කරගැනීමටත් වගකිව යුතු වෘත්තිකයෙකු හැටියට පිළි ගැනීමක් ලබා ගැනීමටත් ආදර්ශමත් කළමනාකරුවෙකු හැටියට නමක් දිනා ගැනීමටත් දරුවන්ට සෙනෙහස දක්වන ඔවුන්ගේ අභිවෘද්ධිය සළසන එහෙත් ඔවුන් මත ආධිපත්‍ය නොපටවන පියෙකු හැටියට ඔවුන්ගේ ගෞරවය ලබා ගැනීමටත් අවශ්‍ය වෙලාවට ළග සිටි ජීවිත ගමනේ සගයෙකු හැටියට බිරිඳගේ සෙනෙහස හිමිකරගැනීමටත් වගකීම් ඉටුකරන පුරවැසියෙකු හැටියට ඇසුරු කරන්නන් අතර ආදරයක් දිනා ගැනීමටත් විශ්වාසවන්ත මිතුරෙකු හැටියට ඇසුරුකරන්නන් අතර නමක් දිනා ගැනීමටත් මට වුවමනා ය. ඒ සියල්ල ලගා කරගැනීම සාර්ථකත්වය ලෙස මම දකිමි. මේ සියල්ල ලබා ගැනීමට මම අනවරතව කැප වෙමි. වෙහෙසෙමි. තරඟ වදිමි.

සමහර විට ඒ මා සමගම ය. තවත් සමහර විට මගේම අතීතය සමග ය. සමහර විට ඒ මා විශ්වාස කරන පරිපූර්ණ මිනිසා සමග ය. මා ඇසුරු කරන මගේ සබඳතා ජාලයේ වෙසෙන විවිධ පුද්ගලයින් සමග ය.

ඒ කිසිවිටෙක වෛරයක් ඉරිසියාවක් තරහක් සිතට ඇතුළු වන්නේ නැත. පළමු තුන් දෙනා (මා, මගේ අතීතය, මා මවා ගත් පරිපූර්ණ පුද්ගලයා* සමග එසේ ගනු දෙනු කළ හැකි නමුත් සිව්වෙන්නා, එනම් අප අවට ඉන්නා අනෙකා, සම්බන්ධයෙන් එවැනි වෛරයක්, ඉරිසියාවක්, තරහක් සිතට ඇතුළු නොවෙතැයි කීම නිබොරුවක් ද?

මම ඔවුන් දෙස බලමි. ඔවුන් වැඩ කරන අයුරු අධ්‍යයනය කරමි. මා වැදගත් යයි කල්පනා කරන වැඩක් මට වඩා ඔවුන් හොඳින් කරන්නේ නම් ඒ කෙසේ දැයි විමසමි. ඒ කටයුත්ත මට ද අත්හදා බැලිය හැකි දැයි විපරම් කරමි. ඒ තුළින් වඩාත් ඉස්සරහට යන්නට උගනිමි. අනෙකාට යටි උගුල් නොඇද ඔහුගෙන් ඉගෙන ගෙන ඔහු පරාජය කරමි. මා සම්බන්ධයෙන් ද අනෙක් අය එයම අනුගමනය කරනු දැකීමට මම කැමැත්තෙමි. අප අවට යහපත් වන්නේ එවන් තරඟයකට අප හැමට අවතීර්ණ විය හැකි නම් පමණකි. එවිට හැම වැඩක්ම හැම ආයතනයක්ම හැම කෙනෙක්ම ඉදිරියටම යනු ඇත. එහි වාසිය අප හැමගේ ය.

මෙයින් අදහස් කරන්නේ නොකා නොබී ජීවිතය නොවිඳ තරඟයේම යෙදෙන බව නොවේ. ජීවිතය රසයෙන් කුල්මත් කරනු සඳහා ද එයට අර්ථයක් සපයනු සඳහා ද තරඟයේ යෙදෙන බව ය. තරඟයෙන් මදක් බැහැරව ජීවිතය දෙස බැලීමට ද කාලය ගන්නා අතර තරඟය ද ජීවිතයේ කොටසක් කරගන්නා බව ය.

තරඟය අධ්‍යාපනයේ දී පවා වැදගත් මෙවලමක් ලෙස භාවිතා කළ හැකි ය. ඒ සහයෝගය සමග මිශ‍්‍ර කිරීමෙනි. අපට අවශ්‍ය නම් සහයෝගය දීම සම්බන්ධයෙන් ද තරඟයක් ඇති කළ හැකි ය.
පාසල් කාලයේ මගේ අත්දැකීම වූයේ හොඳට ඉගෙන ගැනීමේ පහසුම මග අන් අයට ඉගැන්වීම බව ය. විෂය පිළිබඳව අපේ දැනුම වඩාත් පුළුල් වන්නේ අපෙන් උගන්නා අය අපෙන් අසන ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්නට ගිය විට ය. ඒ නිසා සහයෝගයෙහි ක‍්‍රියාවෙන් යෙදෙන්නා තරඟයෙන් ජය ගන්නේ ය. අපේ අධ්‍යාපන ආයතන තුළට මේ අදහස ඇතුළු කරතොත් එයින් වඩාත් යහපත් ප‍්‍රතිඵල ලබා ගත හැකි ය.

මයික්‍රො සොෆ්ට් අයිතිකාර බිල් ගේට්ස් හා ඇපල් පරිගණක අයිතිකාර ස්ටීව් ජොබ්ස් අතර ඇති වූ තරඟයෙන් එකිනෙකා වරින්වර අනෙකා පසුකර ඉදිරියට ගියේ අනෙකාගේ බෙලි කැපීමෙන් නොවේ. එකිනෙකාගෙන් ඉගෙන වඩාත් හොඳ නිශ්පාදන ලෝකයට පිරිනැමීමෙනි. මේ ව්‍යාපාරිකයන් දෙදෙනා අතර තරඟය ලෝකයට අත් කර දුන්නේ විශාල සෙතකි.
අප උගත යුත්තේ තරඟය පිළිකෙව් කිරීමට නොවේ. සහයෝගය ඇතිකරනු වස් තරඟ වැදීමට ය. තරඟය තුළ සහයෝගය දැකීමට ය. තරඟය මහත්මා සීමා තුළ පවත්වා ගැනීම උදෙසා තරඟ කිරීමට ය. ඒ සඳහා සහයෝගය දීමට ය. දැනට ඔලුවෙන් හිටගෙන ඉන්නා තරඟය නැවත කකුල් දෙකෙන් සිටවීමට ය.

එහි දී ජය පරාජය සමව විඳගැනීමට අපට හැකි විය යුතු අතර ජයෙන් උද්දාම නොවී, පරාජයෙන් වෙහෙසට පත් නොවී, ඒ දෙකින්ම පාඩම් උගෙන නැවතත් තරඟය සඳහා වඩාත් සංවිධිතව නව ජවයකින් අවතීර්ණවීමට අප කටයුතු කළ යුතු ය. අධ්‍යාපන ආයතන බාර ගත යුත්තේ ඒ අභියෝගයයි. තරඟය පිළිකෙව් කිරීමේ පහසු මාර්ගයට වඩා එය අමාරු බව ඇත්ත ය. ලෝකය දිනුවේ අමාරු වැඩ කළ මිනිසුන් ය. ඔවුහු ලෝකය දිනුවා පමණක් නොව ලෝකය ද දිනෙව්වෝ ය.

ඔවුහු තරඟයට බියෙන් පලා ගියේ නැත. ඒ වෙනුවට උන් තරඟය වරප‍්‍රසාදයක් ලෙස බාර ගත්හ. තරඟයේ පිළිගත් නීති රීති තුළ ක‍්‍රීඩා කිරීමට අධිෂ්ඨාන කර ගත්හ. ක‍්‍රීඩාශීලී මනසකින් එයට අවතීර්ණය වූහ. අපක්ෂපාත විවෘත තරඟයකින් පසු ජයගන්නාට, සැබෑ දක්ෂයාට, ලැබිය යුත්තාට කුසලානය බාර දීමට එකඟ වූහ.

ඉදින් අප කැමති මේ ලිපිය මෙසේ අවසන් කරන්නට ය. සබඳ හැකි නම් නිකම්ම නිකම් කඳු වී නොනැවතී ලොවම එලිය කරන ලොවට නැවුම් බව ගෙනෙන ගිනි කන්දක් වන්න. නිකම් නිකම් මිනිසෙකු නොවී කිසියම් අයුරකින් සුවිශේෂී මිනිසෙකු වන්න. ඒ සඳහා නොඅලස්ව තරඟ වදින්න.

Advertisements

7 thoughts on “Management in Sinhala – රාවය පුවත්පත පළකිරීම ප්‍රතික්ෂේප කළ අපේ ලිපිය

  1. W.A. Wijewardena says:

    තරගය හුදෙක් ධනවාදී ආර්ථික ක්‍රමයට පමණක් පොදුවූ සංදර්භයක් නොවේ. එය සමස්ත ජීවීනටම පොදුවූ සහ අවශ්‍යයෙන්ම තිබියයුතු ලක්ෂණයකි. තරගයත් නොමැත්නම් සියළුමජීවීන් මේ මිහිතලයෙන් තුරන්වී යනු ඇත. යමෙක් තරගයට විරුද්ධවීමට පෙර මෙම කරුණ සැළකිල්ලට ගන්නේනම් ඉතා අගනේය.

  2. Niccolo B Mac says:

    තරමක් ප්‍රමාද වී හෝ මේ ගැන අදහසක් පල කල යුතු යයි සිතේ.
    තරඟය සාධාරනය කිරීම සඳහා ඉතිහාසයෙන් ගෙන හැර දක්වන නිදර්ශන වලින් බැස ගන්නා නිගමන , misleading යයි හැඟේ.

    සත්ත්ව කොට්ටාශයක් වඳ වී යන්නෙත්, තවත් සත්ත්ව කොට්ටාශයක් සංරක්ෂණය වන්නේත්, දෙවන සත්ත්ව කොට්ටාශයේ සමගාමී පරම්පරාවන් තුල සිදුවන සුවිශේෂ වර්ධනයන්, පරිසරයේ වෙනස් වන තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාවේ වර්ධනයන් මතය. සත්ත්ව කොට්ටාශ දෙක අතර තරගයක් මෙයට අදාල නොවේ. පරිණාමය යනු තවත් සත්ත්ව කොට්ටාශයක් සමග සිදු වන තරගයක් නොවේ.

    සමාජ ක්‍රම පරිණාමය, වෙළඳපල ක්‍රමයේ වර්ධනයන්, විද්‍යාත්මක නව සොයා ගැනීම් වර්ධනයන් සිදුවන ආකාරය තරඟයක ප්‍රතිපලයක් ලෙසට ලඝු කිරීම අති සරලය. සාවධ්‍ය ය.

    “මයික්‍රො සොෆ්ට් අයිතිකාර බිල් ගේට්ස් හා ඇපල් පරිගණක අයිතිකාර ස්ටීව් ජොබ්ස් අතර ඇති වූ තරඟයෙන්…….” පුද්ගලයන් ලෙස මේ දෙදෙනා අතර තරඟයක් වී ද ?. ( අනෙකෙකු සතු හෝ අනෙකාට වඩා කුමක් ලබා ගැනීම සඳහා ද ?). ඔවුන්ගේ ව්‍යාපාර අතර ද තරඟයක් නොවීය. ව්‍යාපාර ඉලක්ක වී තිබුනේ ( එකම පාරිභෝගික කොටසකගේ වුව ද ) වෙනස් අවශ්‍යතා කෙරෙහිය.

    තරඟ වැදීම , දිනීම සඳහා , ලිපියේ සඳහන් උපදෙස් තුලින්ද මතු වනුයේ ප්‍රශ්න කිහිපයකි.

    ලිපියේම සඳහන් පරිදි “සාර්ථකත්වයට ඇත්තේ එක් නිර්වචනයක් ද? ” සාර්ථකත්වය සඳහා තවත් කෙනෙකු සමඟ තරඟ වැදීම අවශ්‍යයමද ?
    බොහෝ විට ,තරගයක් අවශ්‍ය වනුයේ…….. යමක් බෙදා ගැනීමට නොව ( සම්පුර්ණයෙන්ම ) බදා ගැනීමටය. ධනය, බලය ( අනෙකාට වඩා) අත් පත් කර ගැනීමටය. අනෙකාට වඩා තමන්ගේ දක්ෂතාවය පෙන්වා පිළිගැනීමක් ලබා ගැනීමටය…… රැකියාවේ උසස් වීමක් ලබා ගැනීමටය….. සමාජ තත්වයක් ලබා ගැනීමටය. කොටින්ම , තමන් මානසිකව මව ගන්නා පරිපුර්ණ පුද්ගලයෙකුගේ තත්වය ලබා ගැනීමටය. ඒවා අවශ්‍ය නොවන අය ?

    “නිකම් නිකම් මිනිසෙකු නොවී කිසියම් අයුරකින් සුවිශේෂී මිනිසෙකු වන්න. ඒ සඳහා නොඅලස්ව තරඟ වදින්න”.
    නිකම්ම නිකම් මිනිසා සහ සුවිශේෂී මිනිසෙකු , අතර වෙනස කුමක්ද ? තරඟ නොවැද සුවිශේෂී මිනිසෙකු විය නොහැකිද ?

  3. D A Gunawardana says:

    Competition – I asked my daughter about the topic and asked weather she would like to compete with her classmates who scored better marks. She replied No She further said that it may spoil her attempts in learning and raised jealousy & ruin the peaceful mind and with certain angst feelings But without worrying about competition she controls her mind and guide herself to deep understanding about the subject by reading concentrating and improving thoughtful attempts in necessary learning

    This may not matched with present business world which display lots of confusing trends in developed world as well as in the other countries. This ultimately may lead to loss of millions of human lives and variety of destruction through out the globe.

    I wonder if Van Gogh, Tolstoy, Einstein …………….or Gandhi have shown any competitive approach in their lives as general political & business figures highlighted in present time.

    • Gandhi competed with many; British empire, social ideologies of the time which propagated hate among different ethnic groups and degraged marginalized groups such as untouchables, etc. With regards to Einstein also there were contenders including Newton.

  4. තරගය ගැන කතා කරන බොහෝ දෙනා අමතක කරන කාරණය නම් අපට එකිනෙකා හා තරගයෙහි යෙදිය හැකි විවිධ ආකාරයන් තිබෙන බව ය. එසේ වුව ද තරගයේ යෙදෙන්නේ කුමන මානසිකත්වයෙන් ද කුමන අභිප්‍රායෙන්ද යන වග තරගයේ යෝග්‍යතාවය විමසීමේදී අප අමතක කරන බව ය.

    මේ මාතෘකාව අරබයා එවා ඇති සියලු ප්‍රතිචාරවල තිබෙන්නේ තරගයයි. ඔවුන් තරගයක යෙදෙන්නේ මා තරගය ගැන ඉදිරිපත් කරන මතය පිළිබදව ය.

    ඒ තරගය මා පිළිගන්නේ බැතියෙනි. මක්නිසා ද යත් ඒ තරගය මට මගේ දැනුම ප්‍රශ්න කිරීමට අවස්ථාවක් සළසන බැවිනි. ඒ තරගය තරගය ගැන සියලු මානයන් නැවත විමසුමට ලක් කිරීමට අප හැමට අවස්ථාවක් දෙන බැවිනි. ඒ තරගය සමාජයට යහපතක්ම ගෙන දෙන බැවිනි.

  5. D A Gunawardana says:

    …..it is well known that competition is a reality of humanity that has dual effects to the human beings, benefits and damages both. One can explain the topic in optimistic angle and saying it is the only available way forward.

    It starts from the biological evolution, but human being may challenge it one day or some day……..Why there are so many laws on competition in the business world?

    However, considering the effects of disastrous wars through out the globe, escalation of entropy, psychological unbalance, large no of suicidal cases reported among young students, detraction from enjoying the human life and many other disastrous situations due to so called competition cant be pasted in my poetry.

    • Some people use kitchen knife to kill others. I don’t think we should look down on the kitchen knife just because some one has used it for killing. Competition is neutral like a kitchen knife. You can use it to do good, do something useful or do bad. I use it for good. I also appreciate it as it is a very nice tool to improve. I will compete only on merit, I have vowed. We need to promote competition and in the meantime need to do everything possible to keep the competition within the boundaries of the game (compete only on merit). We can cooperate to compete and we can also compete to cooperate. That is the true spirit of the game.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s