වැරදි කරන තම අනුගාමිකයන්ට දඩුවම් කිරීමට අසමත් නායකයෝ


වැරදිකරුවන්ට දඩුවම් දීමට සමහර නායකයෝ පැකිළෙති. ඒ වෙනුවට වැරදිකරුවන් විවේචනය කරන්නට පමණක් -ඔවුන්ට බැණ වදින්නට පමණක්- ඔවුහු කටයුතු කරති.

අද සාකච්ඡා කරන්නට යන්නේ දඩුවම් දීම වෙනුවට බැණ වැදීම තෝරා ගන්නේ ඇයි ද යන්න පිළිබදව ය.

බැණ වැදුනහම මිනිසුන් ඒ බැණුමට බියෙන් හැදෙතැයි අපේක්ෂාවක් තිබීම මීට එක් හේතුවකි. බැණ දොඩා හදාගත හැකි කිසිවෙකුට දඩුවම් කරන්නට යෑමෙන් ඔහු වෛරක්කාරයෙකු කරගන්නේ මන්ද යන්න ද මෙයට තවත් හේතුවකි. පළමුවැන්න බොරුවක් වන අතර දෙවැන්න නායකයාගේ බිය සැගවීම උදෙසා කරනු ලබන හේතු දැක්වීමකි.

දඩුවම් නොකර බැණ දොඩා පමණක් ඉන්නා නායකයින් ජනප්‍රිය ය. නායකයින් ජනප්‍රිය වුනාට ආයතන සවුත්තු ය.

හිතාමතා කරන වැරදිවලට නිසි දඩුවම් කරන ආයතනවල ඉන්නා නායකයින් ජනප්‍රිය නැත. එහෙත් එවන් ආයතන නම් කාලාන්තරයක් බැබලේ.

දඩුවම් කිරීම හිතන තරම් අමාරු නැත. එහෙත් ඒ සදහා කොන්දේසි කීපයක් සම්පූර්ණ විය යුතු ය.

  1. දඩුවම් දෙන තැනැත්තා එවන් වැරදි නොකරන කෙනෙක් විය යුතු ය. පව් කාරයාට ගල් ගැසිය හැක්කේ පව් නොකරන කෙනෙකුට ය.
  2. දඩුවම් කළ හැක්කේ හිතාමතා කරන වැරදිවලට පමණි. අත්වැරදිවලට දඩුවම් කළ නොහැකි ය. එය ආයතනයක් අකර්ණම්‍ය කිරීමට හේතු වෙයි.
  3. එසේ වැරැද්දක් කළ බවට නීත්‍යානුකූල අපක්ෂපාත විවෘත ක්‍රියාමාර්ගයකින් ඔප්පු වී තිබිය යුතු ය.
  4. දඩුවම දෙන ලද වැරැද්දට සමානුපාතික විය යුතු ය. පුංචි වැරැද්දකට මරණ දණ්ඩනය පැමිණවිය නොහැකි ය. රැකියාවෙන් ඉවත් කළ නොහැකි ය.
  5. දඩුවම් දිය යුත්තේ හදා ගැනීමේ අරමුණනි. සානුකම්පිත චේතනාවෙනි. වෛරයෙන් තොරව සිනහමුසු මුහුණින් දඩුවම දෙන්නේ ඇයි දැයි සන්සුන්ව පැහැදිලි කර දෙමිනි.

නිසි ලෙස නිසි අවස්ථාවේ දඩුවම් දීමේ කලාව නායකයින් හා කළමනාකරුවන් විසින් පුහුණු කළ මනා ය. ඒ සදහා කුසලතාවලට අමතරව නිර්භීතකම ද අවශ්‍ය ය. ආයතන බැබලෙන්නේ එවැනි වටපිටාවක පමණ ය.

දඩුවම් කිරීම නිසා ‍කෙටිකාලීන ‍නොසතුටක් ඇතිවිය හැකි වුව ද එය දිගුකාලීනව ශක්තිමත් ආයතනයකට අවශ්‍ය පදනම දමනු ඇත.

Advertisements