කළමනාකරණය සිංහලෙන් – බුරන බල්ලෝ හපා කන්නේ නැත.


කළමනාකරණය සිංහලෙන් කියා ඉහලින් ලියා ඇති බ්ලොග් අඩවියකට මෙවැනි ලිපියක් ඇතුළත් කළේ ඇයි දැයි කෙනෙකුට හිතෙන්නට පුලුවන. මගේ අදහස බල්ලන් ගැන කතා කිරීම නොවේ.

මට අවශ්‍ය ආයතනයක නායකයෙකු සතු වන බලය ඔහු විසින් කෙසේ යොදාගත යුතු දැයි කියන්නට ය. ඒ ගැන සංවාදයක් ඇති කරන්න ය.

සමහර නායකයෝ තමන්ට ඇති බලය ප්‍රදර්ශනය කිරීමට අතිමහත් කෑදර බවක් දක්වති. පොළොවෙන් අගල් දෙකක් ඉහළින් යන තමන්ගේ පහළ සේවකයින් ලවා වන්දනා මාන කර ගැනීමට කැමති මේ අය තැනක් නොතැනක් නොබලා තම සේවකයින්ට අවමන් කෙරෙති. ඒ කරන ලද වැරැද්දකට ය. සමහර විට එය හිතාමතා නොකරන ලද අත් වැරැද්දක් වන්නට ද ඉඩ තිබේ.

මෙවැනි ආයතනයක සේවකයින් සමහර විට ඉන්නේ අතිශය ආතතියකිනි. මේ ආතතිය ඔරොත්තු නොදෙන අය වෙන තැන්වලට මාරු හදා ගනිති. පරිසරය අප්‍රසන්න වූවාට මෙසේ බලය ප්‍රදර්ශනය කරන නායකයින් බොහෝ දෙනෙක් බලය පාවිච්චි කරන්නේ නැත. බිරුවාට හපා කන්නේ නැත. ඒ නිසා රෙස්පොට් දැක දැක මෙවැනි පුස්පාට් ඉවසමින් ඉන්නා අයට මෙය සුරපුරයක් වන්නට ද ඉඩ තිබේ. ඒ බලු බැනුම් ඇහැව්වාට ඉන් එහාට ගන්නා පියවරක් නැති නිසා ය.

මීට ප්‍රතිපක්ෂව අප දකින තවත් නායකයත්වයක් තිබේ. ඔහු නැත්නම් ඇය නිහතමානී ය. බලය ප්‍රදර්ශනය කරන්නේ නැත. තමන් යටතේ ඉන්නා අය තමන් ඉදිරියේ නිවට නියාලු වෙනවා දකින්නට ඔවුන් කැමති ද නැත. ඔවුන් තම සේවකයෙකුගේ හිතාමතා කරන වැරැද්දක් මිස අන් වැරැද්දක් විවේචනය කරන්නේ නැත. ඒවා පෙන්වා දෙනවා පමණකි. හිතාමතා කරන ලද වැරැද්දක් වුව පළමුවටයේ පෞද්ගලිකව දෙන අවවාදයකට සීමාවෙයි. දෙවැනි වටයේ එය පුද්ගලික ලිපිගොනුව හරහා එන ලිඛිත අවවාදයක් පමණකි. ඊළගට එන්නේ චෝදනා පත්‍රයකි. නීත්‍යානුකූලව කටයුතු කිරීමේ මාවතට මෙසේ සාවධානව පිවිසෙන මේ නායකයා සමහර විට හිතාමතා වැරදි කරන පුද්ගලයා ආයතනයෙන් ඉවත් කරන තුරු තම කටයුත්තේ නිරත වන මුත් එකද වෙලාවක හෝ උස් හඩින් කතා නොකරන්නට පුලුවන. මේ බල්ලා බුරන්නේ නැතිව කෙළින්ම හපන කෙනෙකි.

පළමු නායකයා බලය ප්‍රදර්ශනය කළ අතර ඒ නිසාම බලය පාවිච්චි කිරීමට අපොහොසත් විය. දෙවැන්නා බලය ප්‍රදර්ශනය නොකළ අතර බලය පාවිච්චි කිරීමට පැකිළුනේ ද නැත. බලය ප්‍රදර්ශනය කරන්නාට පාවිච්චි කරන්නට බලයක් ඉතිරි නොවේ. එය ප්‍රදර්ශනය තුළම ක්ෂයව යන්නේ ය.

බලය ප්‍රදර්ශනය කරමු ද? බලය පාවිච්චි කරමු ද? නායකයෙකුට හැටියට මේ විකල්ප දෙකෙන් එකක් අපට තෝරාගත හැකි ය.

පළමු ආයතනයෙන් නික්ම යන්නේ හොද නිර්මාණශීලි අභිමානවත් මිනිසුන් ය. ඉතිරි වන්නේ බැනුම් දරා ගෙන ජීවත්විය හැකි හොරුන් ය.

දෙවැනි ආයතන රටාව තුළ යහපත් මිනිසුන්ට වැඩ කිරීමට උචිත පරිසරයක් සෑදෙන අතර හැමගේ අභිමානයට ගරු කෙරේ. එහෙත් හිතාමතා වැරදි කරන අයට එහිදී සමාවක් නැත. ඒ නිසාම දෙවැනි ආයතනයෙන් නික්ම යන්නේ හොරුන් ය. ඉතිරි වන්නේ නිවැරදිව කැපවී වැඩ කිරීමට කැමති මිනිසුන් ය.

පළමු ආයතනය තුළ එළියට ප්‍රදර්ශනය වන පාලනයක් ඇතැයි පෙනෙතත් දෙවැන්න තුළ එසේ පාලනයක් ක්‍රියාත්මක වෙතැයි පෙනෙන්නේ නැත. මිනිසුන් පාලනයක් නැතිවම වැඩ කරන බවක් නායකයෙකු නොමැතිව වැඩ කරන බවක් අපට පෙනේ. එහෙත්සැබෑ පාලනය ඇත්තේ එහි ය.

පාලනය ඇතැයි අප හිතන තැන පාලකයා නැති විට ඇතිවන තත්වය අතිශයින් අරාජික ය. ඒ පාලනය පුද්ගල කේන්ද්‍රීය වන අතර බෙහෙවින් උච්චාඅවචානයන්ට බදුන් වෙයි. පාලකයා ලග පාත හිටින විට එක හැසිරීමකුත් නැතිවිට තව හැසිරීමකුත් ප්‍රදර්ශනය වෙයි.

පිටට පෙනෙන වෙස් මුහුණකින් මිනිහෙකු මැනීම අර්ථ විරහිත ය. ඒ තරමටම පිටට පෙනෙන පාලනයකින් සැබෑ පාලනය මිනිය නොහැකි ය.

Advertisements

2 thoughts on “කළමනාකරණය සිංහලෙන් – බුරන බල්ලෝ හපා කන්නේ නැත.

  1. Anton says:

    There are another segment.Some managers do not exhibit or use their own powers which is more dangers to the organization and country. In my view ,what ever exhibit or use of power should be resulted healthy productive environment.But exhibit of power in such way is not accepted.

    Anton

    • ඔබ කියා ඇත්තේ බලය ගැන හාංකවිසියක් හෝ හැගීමක් නැති නායකයින් ගැන ය. ඔවුන් අතිශය දුර්වල බවටත් අකාර්යක්ෂම බවටත් වාදයක් නැත. ඒ ගැන ඔබ හා මුලුමනින් එකග වෙමි. එවැනි නායකයින් දුර්වල නායකයින් බව බහුතරයකට පෙනේ. එහෙත් මා කියූ නායක දෙවර්ගයෙන් ප්‍රදර්ශනය කුලයේ අය හොද නායකයින් බවත් අනිත් කුලයේ අය දුර්වල නායකයින් බවත් සමහරු සිතති. ඒ පෙනුමට දැනෙන විදිහය. පෙනුම හැම විටම සත්‍ය නොකියන බව කියන්නට වුවමනාවූ නිසා ඒ දෙපල පමණක් සංවාදයට ගනිමි. ඉතිරි පාර්ශවයන් ගැන ද කියා සංවාදය සම්පූර්ණ කිරීම ගැන ඔබට තුති පුද කරමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s