උපා දන්නා නායකයෝ අපායේ නොවැටෙති ද?

28 May

සමහර නායකයින් කැමති මිනිසුන් සමග මිත්‍රශීලීවීම හරහා ඔවුන් දිනාගෙන ඒ හරහා ආයතනයේ ඉදිරිමග සකසා ගැනීමට ය. ඔවුහු තම අනුගාමිකයන්ගේ හා හිතවතුන්ගේ පමණක් නොව සමහර විට විරුද්ධවාදීන්ගේ පවා උපන් දිනයකදී කේක් එකක් යවන්නට ද සුභපැතුමක් පිරිනමන්න ද මගුලට අවමගුලට දානයට සහභාගී වෙන්නට ද කාලය වැය කරන්නෝය. ඔවුහු තම අනුගාමිකයන්ගේ දරුවන් පවා හුරතල් කරන්නට ද ඔවුන්ගේ අම්මා තාත්තා සමග පවා සුහදශීලි වෙන්නට ද කටයුතු කරති. ඒ ඇතිකරගන්නා මිත්‍රත්වය හරහා තමන්ට ලැදි පිරිසක් බිහිකර ගන්නා අතර ඒ අය තම අරමුණ වෙනුවෙන් වැඩ කිරීමට ඒ හරහා කැප කරවා ගැනීමේ දක්ෂ ය.

දෙවැනි වර්ගයට අයත් නායකයෝ වඩාත් වැඩි අවධානය යොමු කරන්නේ රාජකාරියට ය. අද  කිරීමට ඇති කාර්යයන් ගැන ය. ඔවුන් ඒ කාර්යයන් කරන තුරු පසු විපරම් කිරීමේ නිරත වෙති. ඔවුන්ගේ මූලික ඉලක්කය වැඩ ය. මෙසේ වැඩ ගැන තමන් දක්වන අධික උනන්දුව නිසාම වැඩ කිසියම් මට්ටමක කර ගැනීමේලා ඔවුහු සමත් වෙති.

තුන්වෙනි වර්ගයට අයත් නායකයින් වඩාත් කැමති ආයතන ගොඩ නැගීමට ය. ආයතනික පද්ධති ක්‍රමවේද යාන්ත්‍රණ ආයතනික ව්‍යුහයන් හා ක්‍රියාවලි සකස් කිරිමට ය. ඒවා නිසි ලෙස සංවිධානය වී ඇත්නම් රාජකාරි බොහෝමයක් ඉටු කර ගත හැකි වෙතැයි ඔවුහු විශ්වාස කරති.

මේ එක් එක් නායකත්ව උපාය මාර්ගයේ ශක්තීන් මෙන්ම දුර්වලතා ද තිබේ. අප කැමති පාඨක ඔබ ඒවා ගැන ලියනු දැකීමට ය.

ලංකාව තුළ අප වඩාත් බහුලව දකින්නේ පළමු වර්ගයට අයත් නායකයින් ය. ඊළගට වඩාත් දකින්නේ දෙවැනි වර්ගයේ නායකයින් ය. වඩාත් දුර්ලභ තුන්වෙනි වර්ගයේ නායකයින් ය. අපේ දුර්භාග්‍යයන්ට එයත් හේතුවක් දැයි කල්පනා කර බැලීම වටින්නේ ය.

මේ ගැන වැඩිදුරටත් ඔබේ අදහස් ද සමගින් සාකච්ඡා කිරීමට අපි අපේක්ෂා කරමු.

පෝලිම් කළමනාකරණය

9 May

පෝලිමක් නැතිව වැඩක් කර ගන්නට හැකි නම් එය වඩාත් හොද ය. එහෙත් හදිසියේ හෝ ඇතිවන පෝලිමකින් තොරව සේවා සැළසීමට සැළසුම් කිරීම හැම විටම නොහැකි ය. ඒ සදහා දැරිය යුතු පිරිවැය ලැබෙන ප්‍රතිලාභයට වඩා සමහරවිට වැඩි විය හැකි ය. යම් පිරිවැයක් දරන්නේ නම් එය අවසානයේ පාරිභෝගිකයාට මාරුකිරිමට සිදුවන නිසාම ඒ පැත්තෙන් ද එය නුසුදුසු ය.

ඒ නිසාම ඇතිවිය හැකි පෝලිම් කළමනාකරණය කිරීමේ වගකීම ආයතනයන් විසින් බාර ගත යුතුව තිබේ. ඒ දැනුම අප සතුව තිබේ ද?

පෝලිමක ඉන්නා කෙනෙකුගේ අපේක්ෂා කීපයක් වෙයි. එකක් පැමිණි පිළිවෙලටවත් අවම වශයෙන් සේවය ලබා ගැනීමේ හැකියාව සහතික කර ඇතැයි යන්න ය. ඒ සදහා පරිගණකය යොදාගෙන නිකුත් කරන තුණ්ඩුවල උදව්ව ලබාගත් ආයතන ගණනාවක් ඇත. වඩාත් පෘතුළව එය දකින්නට ලැබෙන එක් තැනක් ටෙලිකොම් කාර්යාලයන් ය. ඒ නැතත් පැමිණි පිළිවෙලට අංකයක් දීම හා අංක අනුපිළිවෙලින් කැදවීමට ද වැඩි වියදමක් නැතිව කළ හැකි ය.

දෙවැන්න දිග පෝලිමක සිට ගෙන සිට අවසානයේ ලේඛනයක අඩුපාඩු ඇතැයි නැතිනම් ඡයා පිටපතක් අවශ්‍ය යැයි නැතිනම් වෙනත් ලියවිල්ලක් නැතැයි කියා අසන්නට ලැබීමෙන් නිදහස ය. ඒ සදහා පෝලිම වෙත පැමින පෝලිමේ සිටින්නන් සියලු ලියකියවිලිවලින් සම්පූර්ණ දැයි පරීක්ෂා කිරීමට ආයතනයේ කෙනෙකු කවුන්ටරයේ සේවය කරන කෙනෙකුට වඩා පහළ මට්ටමේ සේවකයෙකු වුව යෙදවීම අපහසු නැත. එයින් කවුන්ටරය ලගදී සිදුවන අනවශ්‍ය පමාවීම් ද වළක්වා ගත හැකි ය.

තෙවැන්න සූදානම් නැති කවුන්ටරයකින් මාරු කාසි සදහා නැගෙන අතොරක් නැති අඩ හැරයෙන් හා කාලපාලුවෙන් නිදහස ය. ඒ සදහා කළ යුත්තේ ප්‍රමාණවත් මාරු කාසි බැංකුවකින් ලබාගෙන තිබීම හා නියමිත මුදල මාරුවලින් සූදානම් කර ගනු පිණිස අවශ්‍ය තොරතුරු ප්‍රමාණවත් ලෙස ප්‍රදර්ශනය කර තැබීම ය.

සිව්වැන්න අවම වේලාවකින් සේවය සැළසිය හැකි ලෙස තාක්ෂණය හා කළමනාකරණය සකස් කිරීම මගින් කවුන්ටරය වෙත පැමිණෙන්නන් සම්බන්ධයෙන් ඉක්මනින් අදාළ කටයුතු කර පෝලිම ඉක්මණින් ඉදිරියට ඇදීයාමේ අපේක්ෂාව ය. එක් දත්තයක් ඉදිරිපත් කිරීම මගින් ඉතිරි දත්ත සියල්ල පරිගණක දර්ශනතලයක් මත ප්‍රක්ෂේපනය වන ඒ නිසා ම යම් අලුත් වෙනසක් සිදුව තිබේ දැයි පරීක්ෂා කිරීමෙන් සෑහිමකට පත්විය හැකි ලෙස සකස්ව ඇති ක්‍රමයක් ස්ථාප්තිත කිරිම ය. එවිට කළ යුතු වන්නේ අදාල වෙනස්කම් පමණක් සිදුකර ඉක්මණින් සේවය ලබා දීමට හැකි වීම ය.

පෝලිම් නැත්නම් හොද ය. පෝලිමක් ඇති තැනක වුව එය කලමනාකරණය කිරීමට සමත් වේ නම් එයත් හොද ය.

පාරිභෝගික සත්කාරය වින්දෙමි! Customer is the King; නොදෝකින්!

24 Apr

පාරිභෝගික සත්කාරය අතින් ලංකාව ඉන්නේ බොහෝ පහළ මට්ටමක ය. Customer is the King; නොදෝකින්!

පහුගිය දිනක මම දුම්සහතිකය ලබා ගැනීමට බත්තරමුල්ලේ ඉකෝටෙස්ට් මධ්‍යස්ථානය වෙත ගියෙමි. වාහන කීපයක්ම පෝලිමේ තිබුනු අතර එක පෝලිමක් වෙනුවට අමුතු සක්කයන් ගසා පෝලිම් කීපයක් ඒ වනවිටත් සැදී තිබිණි. පෝලිම පැත්තකින් තිබියදී ලොරියක් පැමිණ සහතිකය ලබා ගෙන ගිය අතර මට පසුව පැමිණි ත්‍රීවීලර් දෙකක් ද මෝටර් සයිකලයක් ද සහතික ලද්දේ ය. කලින් පැමිණි අය කවුරු දැයි අදුනාගැනීමට කිසිදු වැඩ පිළිවෙලක් නොතිබූ අතර ඉඩ අතරින් රිංගා ගත හැකි පුංචි වාහන සිය පුංචි කමින් ඉහළ වාසියක් ලබනු පෙනිනි. අතරින් පතර පෝලිමේ වාහන ද ගනු ලැබී ය. සහනයකට තිබුනේ ඒ අවස්ථාව හෝ ලබා දීමට එහි පරීක්ෂකවරයා කාරුණික වීම ය (පරීක්ෂකවරයාගේ හැසිරීම අනුව පෙනුනේ ඔහු පුංචි මිනිසුන්ට සළකන කෙනෙක් බව ය).

ඊළග කඩ ඉම තිබුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ය. ඒ දුම් සහතිකය ද පාවිච්චියට ගෙන අදායම් බලපත්‍රය ලබා ගැනීමේ ය.

එහි යන විට 12 55 වී තිබිණි. කවුන්ටර තුනක් තිබුනේ වී නමුදු එක දු කවුන්ටරයකවත් නිලධාරියෙක් දක්නට ලැබුනේ නැත. ඒ වෙනුවට කෑම විවේකය සදහා කවුන්ටර වසා ඇති බව දැක්වෙන දැන්වීම් පුවරුවක් නම් තිබුනේ ය.

අසළ සිටි පිළිගැනීමේ නිලධාරිනියගෙන් විමසූ කල ඇය කීවේ 1 30 කවුන්ටර විවෘත කරනු ඇති බව ය.

ඒ වනවිටත් එම සේවයම ලබා ගනු පිණිස පැමිණ සිටි මිනිසුන් අසල තිබූ පුටු කීපයක වාඩිවී සිටි අතර මම ද හිස්ව තිබූ පුටුවක වාඩි ගත්තෙමි. ටික වෙලාවක් යනවිට මිනිසුන් 30 ක් පමණ එකතු වූ අතර කවුන්ටර විවෘත කිරීමෙන් පසු සිදුවිය හැකි කාලගෝට්ටිය ගැන ලතවෙමින් ඉතිරි මිනිත්තු තිහ ද ගෙවා දැම්මෙමි. පැමිණි පිළිවෙලට අංකයක් ලබා දීමේ ඉඩකඩ ඒ අසලම සිටි පිළිගැනීමේ නිලධාරිනියට පවරන්නට හැකි ව තිබියදී එසේ නොකළේ ඇයි ද යන්න ද ඒ සිටිනා අතර මගේ හිතට වද දුන්නේ ය.

කෑම පැය අවසන් වී නිලධාරිනියන් දෙපළක් පැමිණි අතර මුලින් පැමිණි පාරිභෝගිකයන් පැත්තකට විසිවෙද්දී ඉක්මන් වූ අය පෝලිමේ මුලට පැමිණ සිටිනු දුටුවෙමි. ඒ ගැන දොස් කියන්නේ කාට ද? ආයතනයට එල්ල නොවේ නම් ඊළගට ඒ අප අපට මය.

පෝලිමට එකතුවෙමින්ම මේ සියල්ල නරඹන අතරතුර මට සිතුනේ නිලධාරීනියන් දෙපළම එක වෙලාවක කෑම කන්නට යන්නේ මන් ද යන්න ය.

කළ යුතු බොහෝ දේ මේ තැන් දෙකෙන් එකද තැනකවත් කර තිබුනේ නැත. එකක් පුද්ගලික අංශයේ ය. අනික රාජ්‍ය අංශයේ ය.

කලින් පැමිණෙන තැනැත්තාට කලින් සේවය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම තම වගකීම යයි ආයතන දෙකෙන් එකක්වත් කල්පනා කර තිබුනේ නැත.

සියල්ල අපේ හයිය හා කැමැත්ත අනුව විසදන්නට ඉඩ දී තමන්ගේ වෙලාව ඇති පමණ ගෙන කර ගෙන යන මේ රාජකාරිය තුළ ඇත්තේ කිනම් පාරිභෝගික සත්කාරයක් ද යන්න මට අපැහැදිලි ය.

කලින් පැමිණි තැනැත්තා හදුනා ගැනීමත් ඔහුට ඇයට මුලින් සේවය සපයා දීමේ වගකීම තමන් ට ඇතැයි යන්න තේරුම්ගැනීමත් පාරිභෝගික සත්කාරයට අවශ්‍ය ය. විශේෂයෙන් කල දුටු කල වල ඉහගන්නට හදන ජාතියක් ඉන්නා රටක එය වඩාත් අවශ්‍ය ය.

ඒ දැනුම පුද්ගලික අංශයට මෙන් ම රාජ්‍ය අංශයට ද නැතැයි මගේ අත්දැකීම මට කීවේ ය. මට පැටලුනා නොවේද? ඒ දැනුම රාජ්‍ය අංශයට මෙන්ම පුද්ගලික අංශයට ද නැතැයි යනුවෙන් එය වෙනස් විය යුතු නොවේ ද? කස්ටරමර් ඉස් ද කිංන්ග් කියා ලොකුවටම කියන්නේ එම අංශය බැවිනි.

නායකයෙකු විසින් රැක ගත යුතු ප්‍රධානම වස්තුව

11 Apr

තරුණියකට රැක ගත යුතු ප්‍රධානම වස්තුව හැටියට සැළකුණේ කුමරි බඹසර ය. එහෙත් බොහෝ රටවල අද එය එපමණටම සැළකිල්ලට භාජනයවන බවක් පෙනෙන්නේ නැත. එහෙත් රට කුමක් වුව ද නායකයෙකු විසින් රැකගත යුතු වස්තුවක් තිබේ. එය රැක ගත නොහැකි වූ කල නායකයාගේ පිරිහීම ඇරඹේ.

ඒ වස්තුව නම් විශ්වාසයයි. කරනවා යයි කියන දෙය කිරීම මගින් ඇතිකරන විශ්වාසය යි. නොකරනවා යයි කියන දෙය නොකිරීමෙන් ඇති කරන විශ්වාසයයි.

විශ්වාසය අඹුසැමියන් අතර ඇති වැදගත් ම පදනම වන්නේ යම්සේ ද එය නායකයා හා අනුගාමිකයා අතර ඇති බැදීමට ද වැදගත්ම පදනම සපයන්නේ ය.

කරනවා යැයි කියන දෙය සැමවිටම කිරීමට නුපුළුවන් වීමට ඉඩ තිබේ. එවන් විටෙක ඒ ගැන සමාව අයැදීමත් එසේ වූයේ මන්දැයි පැහැදිලි කිරීමත් අවශ්‍ය ය.

එහෙත් සමහර අවස්ථාවල සිදුවන්නේ කරනවා යැයි කී දෙය නොකර එය කළ බවට ඇගවෙන සපථ කිරිම් වලින් සංග්‍රහ කිරීම ය.

කරනවා යැයි කී දෙය නොකර එය කළේ යැයි කීමෙන් විශ්වාසය පළුදු වනවා පමණක් නොවේ. නොමග යැවීම ගැන තරහක් ද අනුගාමිකයන් තුළ පහල වේ. කෙනෙකුට යම් කෙනෙකු තමන් ගොනාට ඇන්දේව්වේ යැයි ඇති වන හැගීම ගෙන එන්නේ සුලුපටු තරහක් නොවේ.

නොකරනවා යැයි කී දේ කරන නායකයෝ තමන් එසේ නොකළ බවට සපථ කරනා විට ද අනුගාමිකයන්ට ඇතිවන්නේ ඒ හැගීම ය.

ඒ නිසාම වඩා සුදුසු විදිහ නම් නොකරනවා යැයි කී දේ කරන්නට වූ විට ඒ ගැන ද සමාව අයැද ඊට හේතු වූ කාරණා ද ඉදිරිපත් කිරිම ය.

අනුගාමිකයින් එවැනි සංග්‍රහයකට සුදුසු යැයි බොහෝ නායකයින් කල්පනා කරන්නේ නැත. ඔවුන් විශ්වාස කරන්නේ මිනිසුන් සතුව ඇති කෙටි මතකය නිසා සියල්ල අමතකව ගොස් තමන්ගේ පැරණි ප්‍රතිරූපය නැවත ගොඩ නැගිය හැකි දවස ඉක්මණින් උදාවන බව ය. රටක නායකයින්ට මෙන් බිල්බෝඩ් කටඅවුට් නැතිවුනාට ආයතනවල නායකයෝ ද තම ප්‍රතිරූපය මෙසේ නැවත ගොඩ නැගිය හැකිය යන විශ්වාසයෙන් එවැනි විශ්වාසය කඩ කිරීම් අඩුවක් නැතිව හිරිකිතයක් නැතිව කරති. එහෙම රටවලට පමණක් නොව ආයතනවලට ද අත් කර ගත හැකි ලොකු ප්‍රගතියක් නැත.

කටුගෙයි ඇති රන් කඩුවක් නැතිවීමකට වඩා රටේ නායකයා පිළිබද විශ්වාසය නැතිවීම රටකට බලපාන්නේ ය. ඒ පමණටම ආයතන සතු වටිනා දේපලක් නැතිවීමට වඩා නායකයා පිළිබද විශ්වාසය නැතිවීම ආයතනයකට බලපාන්නේ ය.

අප්‍රියෙල් 8 නැවත වේදිකාගත වෙන නාලකගෙ දගමල්ල – කළමනාකරුවන්ට උගන්වන පාඩම

2 Apr

ඇය නම් දග මල්ලක්ම තමා. සම්මතය රජයන සමාජයක ඇය ඉන් බැහැර කරනා අසම්මතයම තමා.

ඔව් ඇය කැරලි කාරියක්. ඇගේ නිදහස වෙනුවෙන් සම්මත ආධිපත්‍යයට විරුද්ධව කැරලි ගසන්නියක්. ඇගේ ඒ පෞද්ගලික කැරැල්ල නාලක ස්වර්ණතිලකයන් වේදිකාවට කැදවනව. රටේ දරුවන් බොහෝ දෙනෙකු සමහරු එලිපිටත් සමහරු හොර රහසේත් මුදාහරින විරෝධාකල්පය වැඩිහිටියන් ඉදිරියේ දිග හරින්නට වගේ.

බොහෝ දෙනෙක් එලිපිට පිළි නොගත්තත් අපේ බොහෝ නිවෙස්වල සමාජයෙන් වසන්ව මේ කැරැල්ල පවතිනව. හරියට කාපට් යටට එකතු කරන කුණු වගේ. කවුරු හරි මේ කුණු එලියට ගත්තේ නැතිනම් මේ එකතු වෙන කුණු කාපට් එකට දරන්නේ නැතිව යනව.

ඇගේ නම එලිසබෙත්. ගෙදරින් ඈත නේවාසික පාසලක යාම ප්‍රතික්ෂේප කරන ඇය ඇගේ විරෝධය නොතකා එසේ යැවීම ගැන නොසතුටට පත්වෙනව. දඩබ්බර වැඩ කර කෙසේ හෝ තමන් පාසලින් පන්නා දමනු ලැබීම සදහා ඇය නොයෙකුත් වැඩ කරනව.

මේ නිසාම සමාජයට ඇය නපුරියක් වගේ පේනව. ඒත් ඒ නපුර පිටුපස තියෙන්නෙ අහිංසක ආසාවක්. ඒ නිදහසේ අපේක්ෂාව. නැවතත් තමන්ට හුරු පුරුදු නිවහනට නිදහසේ සැරිසැරිය හැකි නිවහනට යෑමේ අපේක්ෂාව.

ඇය තුළ එලිදකින නපුරට සමාන්තරව එය යටපත් කර දැමීමේ හැකියාවක් ද ඇය තුළම පවතිනව.

ඒ නිසාම තම යෙහෙලියගේ දුකේ දී වඩාත් කම්පනයට පත්වෙන්නේ ඇය වීම අහම්බයක් නෙවෙයි.

වේදිකාව මත දිගහැරෙන මේ අපූරු කතාව වැඩිහිටියන්ට දරුවන් පිළිබද තම අස්ථානයන් ගැන නැවත විමසන්නට පොළඹවනව. දෙමාපියන්ට දරුවන් සමග ගනුදෙනු කරන්නට තමන්ගේ කුසලතා ප්‍රමාණවත් ද කියා සැක හිතවන්න ඉදිරිපත් වෙනව. ගුරුවරුන්ට තමන් තවමත් හරිහැටි ඉගෙන ගෙන නැතැයි කියා ඒත්තු ගන්වන්න බලපෑම් කරනව.

නාට්‍ය අවසානයේ කැරලිකාරිය තමන්ම විහිදුවා හළ නපුර පරදවනව. නපුරු දැරිය පාසලේ ඉන්නා සුන්දරම දැරිය වෙනව. ඒකට පාසලෙන් ලැබෙන පිටුවහල අනුපමේයයි. ඒ නිසාම ළමුන්ට හිරගෙවල් වෙලා තියෙන හොද ළමයිනුත් නරක ළමයි කරවන අපේ පාසල්වලටත් නාලකගේ මේ නාට්‍යය අභියෝග කරනව. ළමා මනස තේරුම් ගන්නේ නම් කැරලිකාර සිතක් යහපතට යෙදවිය හැකිය යන ශුභාරංචිය දගමල්ල අප වෙත ගෙන එනව.

ළමා මනස තේරුම් ගන්න නාලක කුඩා දරුවන් සතු නිසග කුසලතාවල සීමාවක් නැතැයි යන්න ඔවුන් ලවාම අපට පෙන්වා දෙනව.

නාලකගේ අධ්‍යක්ෂණය යටතේ දරුවො අපූරු රංගනයක යෙදෙනව. ඔවුන් තමන්ගෙ චරිත ඇතුළේ ජීවත්වෙනව. ඒත් අපි ඒක නාට්‍ය තුළ ඉන්න වැඩිහිටි චරිතවලින් ඒ තරමටම දකින්නෙ නැහැ. හැබැයි ඒ අඩුව පුංචි දරුවන්ගෙ කුසලතාවලින් වැහිල යනව.

මට හිතෙන හැටියට වැඩිහිටියො දෙබස්වලට බර වෙද්දි කුඩා දරුවො ඉරියවු හා හැසිරීමෙන් ඔවුන්ගෙ රංගන කුසලතාවය මතුකරනව.

මට හිතුනෙ දගමල්ල මං කලින් බලල තිබුනනම් කියල. එහෙම වුනානම් සමහර විට මගේ දරුවන් සම්බන්ධයෙන් මා දැරූ අස්ථානයේ පවා වෙනසක් වෙන්න තිබුන.

ඒ නිසාම හැම අම්ම කෙනෙක් ම තාත්ත කෙනෙක්ම වගේ හැම ගුරුවර ගුරුවරියක්මත් දගමල්ල බලනව නම් හොදයි කියල මට හිතෙනව.

හැම විදුහල්පති කෙනෙක්මත් හැම ආයතන ප්‍රධානියෙක්මත් ඒ වගේම රටේ නායකයනුත් මේ දගමල්ල බැලුවනම් වඩාත් හොදයි කියලත් මට හිතෙනව. ඒ කැරලි ගහන්නෙ දරුවො විතරක් නොවන නිසා.

කැරලි ගහන අයගෙ නපුර විතරක් දකින කළමනාකරුවන් හා නායකයින්ට නොපෙනෙන්නෙ මේ කැරලිකරුවන් සතුව තියෙන නිර්මාණශීලිත්වය ශක්තිය හා අව්‍යාජත්වයයි. මේ අය ඒ බව දකින්නේ නම් ඔවුන් වඩාත් අගය කරනු ඇත්තේ ද කැරලි කරුවන් බව මට විශ්වාසය.

කළමනාකරුවෙකු මතු කළ යුත්තේ කණ්ඩායම ද පුද්ගලයා ද

2 Mar

සමහරුන්ට අනුව පුද්ගලයා ඉස්මතුවීමට ඉඩ නොදී කණ්ඩායම මතු කළ යුතු ය. හේතුව හැටියට දක්වන්නේ එසේ කිරීමෙන් කණ්ඩායමකින් ලැබෙන අධිශක්තියේ (synergy) වාසිය ගත හැකිය යන්න ය.

දර කැබැල්ලක් පහසුවෙන් කැඩිය හැකි වුව ද දර මිටියක් කැඩිය නොහැකිය යන්න අප උගත්තේ කුඩා කාලයේ දී ය. ඒ කතාවට අනුව දර කැබැල්ලකට නැති වටිනාකමක් දර මිටියකට ඇත්තේ ය. එවැනි පසුබිමක දර කැබැල්ලකට මතු වීමට දීමෙන් දර මිටියක් අතහැර දැමීමේ තේරුමක් නැත. අප කලින් සදහන් කළ මිතුරන්ගේ තර්කයේ පදනම ඇත්තේ ඒ උගැන්ම තුළ ය.

එහෙත් අපගේ මිතුරන් මග හරින කාරණය නම් තනි දර කැබලි දුර්වල  නම් ඒවා එක් කර බදින දර මිටියකට වුව ලොකු ශක්තියක් ඇති නොවන බව ය. සමහර විට දර මිටියේ ඇති එක් ශක්තිමත් දර කැබැල්ලකට වෙනත් කිසි දර කැබැල්ලකින් නොලැබෙන ශක්තියක් ලබා දිය හැකි බව ය.

මිනිසුන් සමාන නැති වටපිටාවක ශක්තිමත් හැකියාවන් ඇති අය ඉස්මතු කර ගැනීමට කළමනාකරුට හැකි විය යුතු ය. ඒ තුළින් ඔවුන්ගේ වැඩි හයිය වැඩිමනත් ලෙස භාවිතයට ගැනීම සදහා ය. අඩු වශයෙන් කණ්ඩායමක් හැදීමේ දී එවැනි අය විශේෂයෙන් තෝරා ඊට ඇතුළු කළ යුතු ය. එවැනි අයගේ වර්ධනයට රැකුල් දිය යුතු ය. සාමාන්‍ය සාමාජිකයින්ට ද ඔවුන් අනුගමනය කරමින් දියුණුවන්නට දිරි දෙනු පිණිස විශේෂ කුසලතා ඇති අය මතු කළ යුතු ය.

කණ්ඩායමක් තුළ ඔවුන් සගවා තබන්නේ නැතිව ඒ තුළ ඔවුන්ට ඉස්මතු වන්නට ඉඩ හසර ඇති කළ යුතු ය.

එසේ වුව ද ඔවුන් රෑස්ස ගස් වැනි බව ද මතක තබා ගත යුතු ය. රෑස්ස ගස් යට පුංචි ගස්වලට ඉඩක් නැත්තේ ය. ඒ නිසා ම ඒ ගැන ද අවබෝධයෙන් කළමනාකරණය කටයුතු කළ යුතු ය.

සමහර ඇති හැකි අය සෙසු අයව මායිම් කරන්නේ නැත.

එහෙත් සැබෑ ශක්තිවන්තයෝ එසේ නොවෙති. තමන් අභිමානයෙන් පෙළෙන නිසා ම අන් අය තර්ජනයක් ලෙස සළකන්නේනැති නිසාම ඔවුහු සෙස්සන්ට ද නිසි ගෞරවය පුද කරති. තමන්ගේ ආයතන තුළ සිටින ශක්තිමත් අය එවැනි අභිමානයෙන් යුත් නිහතමානී අය බවට පත් කර ගැනීමේ වගකීම ද නායකයා සතු ය.

ඒ සදහා නායකත්වය විසින් කණ්ඩායම වෙනුවෙන් දායක වීමට හැමට ඉඩකඩ දිමේ වැදගත් කම ගැන ශක්තිවන්තයින් දැනුවත් කළ යුතු ය. මුලදී වැඩි ඉඩක් අලුත් සාමාජිකයින්ට හා නැගී ගෙන එන සාමාජිකයින්ට පිරිනැමිමට ශක්තිමත් අයව පෙළඹවිය යුතු ය.

තනි පුද්ගලයින්ට අනවශ්‍ය වැදගත් කමක් අත් කර නොදී කණ්ඩායම මතු කර ගැනීම ඒ මගින් කළමනාකරණයට හැකි වෙයි.

සැබෑ අභිමානයෙන් පෙළෙන නිහතමානී ඇති හැකි අය සෙසු අය ද දිරිගන්වමින් ඔවුන්ට ද අවස්ථාව දෙමින් වඩා ප්‍රගතිගාමී ආයතනයක් ගොඩ නැගීමට කටයුතු කරනු ඇත්තේ ය. එවැනි ප්‍රයත්නයන් විශේෂයෙන් අගය කරමින් ඒ සදහා ඔවුන් තවදුරටත් මෙහෙයවීම ද කළමනාකරණයේ යුතුකම හා වගකීම ය.

කළ යුතුව තිබෙන්නේ කණ්ඩායම හෝ පුද්ගලයා යන දෙකින් එකක් තෝරාගැනීම නොව කණ්ඩායම හා පුද්ගලයින් නිසි ලෙස ඒකාග්‍ර කොට ඒ ඒකක දෙකටම හොදින් වැඩ කළ හැකි, ඒ ඒකක දෙකේම ගෞරවය ආරක්ෂා වන, තත්වයන් නිර්මාණය කිරීම ය.

Tags: , , , , , , ,

සමජාතීත්වය අභිබවන විෂමජාතිත්වය – කළමනාකරණය සිංහලෙන්

22 Feb

සමහරුන්ට අනුව කණ්ඩායමක් වඩා ශක්තිමත් වන්නේ එහි සාමාජිකයින් සමජාතීය වුවහොත් ය. ඊට හේතුව වශයෙන් බොහෝවිට දක්වන්නේ එකිනෙකා තේරුම්ගැනීම පහසු නිසා ඉතා ඉක්මණින් සම්මුතිවලට එළඹීමට ඊට පුලුවන් කම තිබීම ය. හේතුව සත්‍යය වුව ද එය ශක්තිමත් කණ්ඩායමක් හැදීමට ප්‍රමාණවත් කාරණයක් නොවේ.

කණ්ඩායමක විවිධත්වය තිබීම සමහර විට එය කණ්ඩායමක් ලෙස ගොනුවීම පමා කරලීමට හේතුවක් වන්නට පුලුවන. සම්මුති හා එකගතා ඇති කර ගැනීමට කල් ගත වන බැවිනි. එහෙත් පරිශ්‍රමයකින් පසු වුව ඇති කර ගන්නා සම්මුති වඩා ස්ථිරසාර වන්නට ඉඩ තිබේ. මක්නිසා ද යත් එවැනි කණ්ඩායමක් තුළ විවිධත්වය ඉවසීමට ද සම්මුති ඇති කර ගෙන තිබිය යුතු බැවිනි. ඒ නිසා නව අදහසක් නව සංකල්පයක් ඇතුළුකරගැනීමට ඒ තුළ සමජාතිය කණ්ඩායමකට වඩා වැඩි ඉඩක් තිබෙන බැවිනි.

කල් ගත වුව ද ලැබෙන ප්‍රතිඵලය වඩා ඵලදායක ද ස්ථිරසාර ද බැවිනි.

අනෙත් අතට කණ්ඩායමක විවිධත්වය කණ්ඩායමට විශාල පරාසයක වැඩ කර ගෙන යාමට උදව්වක් වෙයි.

ඊටත් අමතරව එක් සාමාජිකයෙකුගේ දුර්වලකමක් තවත් කෙනෙකුගේ ශක්තියෙන් යටපත් වන අතර මුලින් කී තැනැත්තා සතු වෙනත් ශක්තියක් පසුව කී තැනැත්තාගේ දුර්වලකමක්අභිබවනය කිරීමට හේතු භුත වෙයි.

මා කැමති මගේ කණ්ඩායම තුළ පිරිමින් පමණටම ගැහැණුන් ද සිටිනවා ටය. මේරුණු අත්දැකීම් ඇති අය තරමටම අලුත් අදහස් ඇති තරුණ ජවයකින් යුත් සමාජිකයින් ද සිටිනවාට ය. මගේ සිතුවිලි බෙදා හදා ගත හැකි අය තරමටම ඊට විරුද්ධ මත දරන්නන් ද සිටිනවාට ය. සිංහල අය පමණටම දෙමළ මුස්ලිම් අය පමණක් නොව අමතරව විදේශිකයන් ද සිටිනවාට ය.

ඒ සියල්ල වෙනස් විදිහට සිතන්නට වෙනස් ආකාරයට වැඩ කරන්නට වෙනස් මානයන් කණ්ඩායමට එකතු කරන්නට උදව්වන බැවිනි.

ඒ සියලු ආකාරයේ පාරිභෝගිකයින් මා සමග ගනුදෙනු කරන නිසාම ඔවුන් සමග යෙදෙන ඒ  ගනුදෙනුවේදී එය වඩාත් හොදින් කර ගැනීමට මගේ එම විෂමජාතීය කණ්ඩායම මට යොදා ගත හැකි බැවිනි.

Tags: , , , , ,